Skip to content

ආබාධිත අපි කොහේ ද?

Posted in Disability

ස්වභාවික සංසිද්ධියක ඵලයක් ලෙස හෝ ආරමය/ජානමය විෂම සාධකයක ඵලයක් ලෙස හෝ වෛද්‍යමය අත්වැරදීමක ඵලයක් ලෙස හෝ පෙර කර්මයක ඵලයක් ලෙස හෝ අප රටේ ජනගහණයෙන් ලක්ෂ 16කට අධික ජනසංඛ්‍යාවක් එනම්, 8.7ක පමණ ප්‍රතිශතයක් කිසි යම් හෝ ආබාධිතභාවයකින් පෙළෙති.

ආබාධිතතාවට අදාළ ගිණිය නොහැකි, මිණිය නොහැකි දුෂ්කරතාවයන්ගෙන් නිරතුරු පීඩා විඳින මෙම ප්‍රජා කණ්ඩායමට ද සෙසු සමාජයට හිමි අභියෝග පොදු ය. වෙනස නම්, ආබාධිතභාවයේ නිමක් නැති දුෂ්කරතාවන්ට මුහුණ දෙමින් ම සෙසු ගැටළුවලට මුහුණ දීමට ඔවුන්ට සිදුව තිබීම යි. මෙම ඉතා දුශ්කර වූ අතිරේක අභියෝගයට අමතරව, සමාජයේ සෑම දෙනෙකුට ම මෙන්, ඔවුන්ට ද සිදු වන්නේ දීර්ඝ දුෂ්කර ක්‍රියාවලියකින් පසු අධ්‍යාපනය අත්පත් කර ගැනීමට ය. දේශපාලන හිතවත්කම්, ඥාති සංග්‍රහයන්, අහිතකර චක්‍රලේඛවලින් ද ගැලවී යාමට සමත් අයෙකුට පමණක් අවසන දී සැලකිල්ලට ගනු ලබන තරග විභාග සාධන කඩයිම් ලකුණ ජය ගතහොත් රජයේ රැකියාවක් ලබා ගත හැකි ය. පැනඩෝල් පෙත්තකට එහා ගිය, බරපතල ගණයේ සැත්කමක්, ක්‍රීඩා අංශයේ ඉහළට යාමට අවශ්‍ය සහයෝගයක්, ඉහට වහලක් ලබා ගැනීමක් වැනි අවස්ථාවක් පෑදෙන්නේ බලධාරීන්ගේ හිත උනුවන තරමට ය. අයිතියක් ලෙස ඔවුන්ට ඒවා ලැබෙන්නේ නැත. දැනට ක්‍රියාත්මක වන 1996 අංක 28 දරන ආබාධිත පුද්ගලයින්ගේ අයිතීන් ආරක්ෂා කිරීමේ පණත මගින් අධ්‍යාපනයට හා වෘත්තීය පුහුණුවට ප්‍රතිපාදන සලසා ඇත. එහෙත් කුමක් හෝ වරදකින් එය ක්‍රියාත්මක වූ පසු ගිය වසර 21ක කාලය තුළ මෙම අයිතිවාසිකම් භුක්ති විඳීමට හිතකර වටපිටාවක් සකස් වී නැත. මෙම යථාව වසා ගැනීමට උසස් අධ්‍යාපනය ලැබීම ආදිය සඳහා වන කඩයිම් ලකුණු සීමාව ආදිය පහත හෙලීම වැනි තාවකාලික විකල්පයන් සිදු කර ඇත.

අනුකම්පාව ඉතා හොඳ මානව ගුණාංගයක් වුවත්, බොහෝ විට ආබාධ සහිත පුද්ගලයින් එමගින් පත්වන්නේ වඩ වඩාත් අනාථභාවයට ය. එසේ වන්නේ අන්‍යයන්ගේ හුදු කරුණාව මත දීර්ඝකාලීනව ඔවුන්ගේ ජීවිත හැඩගැස්වීම නිසා ආත්මානුකම්පාව, හීනමානය, යැපුම් මානසිකත්වය වැනි අහිතකර ගුණාංග ඔවුන්ගේ පෞර්ෂයන් තුළට චරිතායනය වීමෙනි. එබැවින්, රජයන් හෝ සිවිල් හෝ රාජ්‍ය නොවන බලාධිකාරයන් විසින් සිදු කළ යුත්තේ තෘප්තිමත් පුරවැසි කණ්ඩායමක් ලෙස සමාජ, ආර්ථික හා සංස්කෘතික ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය වන, හිතකර, දණාත්මක චරිතාංග වර්ධනය වන ආකාරයට ඔවුන් මෙහෙයවීම යි. “මෙහෙය වීම” යන්නෙන් මා මෙහි දී අදහස් කරන්නේ, අධ්‍යාපනය, සෞඛ්‍යසේවා, රැකීරක්ෂා හා පුණරුත්තාපණ ක්‍රියාවලියට සම අවස්ථාවන් සලසා දීම යි. ගත වූ වසර සියයක කාලසීමාව පිළිබඳව විමර්ශනාත්මක ආවර්ජනයක් කළහොත් ඒත්තු යන ඉතා කණගාටුදායක කරුණක් වන්නේ ආබාධ සහිත පුද්ගල පෞර්ෂය ගොඩනැගීමේ අර්ථයෙන් ආරම්භ කරන ලද සෑම ආයතනයක් ම පිහිටුවීමට පුරෝගාමී වී ඇත්තේ පෞද්ගලික අංශය වීම යි. ඊට සමගාමීව රාජ්‍යාංශයේ එම වැඩපිළිවෙල ඉතා පසු කාලයක ඇරඹීම හා භාවිතයේ දී ඒවා පසුගාමී අන්දමින් ක්‍රියාත්මක වීම ද ඒ හා සමග ම පෙනී යනු ඇත.
නිදසුණක් ලෙස ගතහොත්, ආබාධ සහිත සිසු දරුදැරියන්ට අධ්‍යාපන අවස්ථාවන් හිමි වූයේ 1912 වසරේ දී බ්‍රිතාන්‍ය ජාතික මිශනාරී කාන්තාවක වූ මේරි එෆ්. චැප්මන් මැතිනිය විසින් රත්මලානේ දී අඳ බිහිරි පාසල ආරම්භ කිරීමත් සමග ය. මෙරට තුළ ප්‍රථමයෙන් දෘශ්‍යාබාධිත හා ශ්‍රව්‍යාබාධිත ප්‍රජාවට අදාළව අධ්‍යාපනය ලබා දීමේ විශේෂ ක්‍රමවේද, ඒ සඳහා යොදා ගනු ලබන විශේෂ උපකරණ ආදිය භාවිතය හා වර්ධනය සිදු වූයේ එම භූමියේ දී ය. තවද, 1920 වන විටත් වෘත්තීය පුහුණුව එහි ආරම්භව පැවැත්තේ ය. මීට අතිරේකව, සිංහල මාධ්‍ය බ්‍රේල් අක්ෂරමාලාවක් සංවර්ධනය වීම, බිහිරි ළමුන් සඳහා විධිමත් සංඥා භාෂාවක් සංවර්ධනය වීම ක්‍රමානුකූලව සිදු වූයේ ද මෙම විශේෂ පාසලේ දී ය.

දීර්ඝ නිද්‍රාවකින් පසුව, ආබාධ සහිත සිසුන් වෙනුවෙන් අධ්‍යාපන පහසුකම් ඇති කිරීමට රජය පියවර ගත්තේ 1969 තරම් මෑතක දී ය. ඒ වන විටත්, බ්‍රේල් හා සංඥා භාෂා ක්‍රමානුකූලව සකස් වී භාවිතයට ගැනෙමින් තිබින. එසේම, මෙම ප්‍රජාව වෙනුවෙන් වෘත්තීය පුහුණු කටයුතු පවත්වා ගෙන යාම රජය ආරම්භ කළේ 1956 වසර තරම් මෑතක දී ය. එය ද සිදු වූයේ එතෙක් රත්මලානේ දෘශ්‍යාබාධිත හා ශ්‍රව්‍යාබාධිත සිසුන් සඳහා වූ විශේෂ පාසල් විසින් පවත්වා ගෙන එනු ලැබූ වෘත්තීය පුහුණු අංශය ශිල්පක්‍රම, උපකරණ, භූමිය හා ගොඩනැගිලි ද සහිතව රජය වෙත පවරා ගැනීමෙනි. 1956 දී ආබාධිත පුද්ගලයන් සඳහා වෘත්තීය පුහුණුව පවරා ගැනීමත්, 1969 වසරේ සිට ආරම්භ වූ රජයේ අන්තර්කරණ අධ්‍යාපනයත් මගින් අද එම ප්‍රජාව කුමක් අත්විඳින්නේ ද?
විශේෂ අධ්‍යාපන ෂේත්‍රය නොනවතින පල්ලම් බැසීමකට ලක්වෙමින් පවතී. අනාබාධිත දරුවන් සිටින රජයේ පාසල්වල විශේෂ අධ්‍යාපන ඒකක ඉදි කරන ලදී. වැඩි වැඩියෙන් ආබාධ සහිත දරුවන් විශේෂ පාසල්වල සිට රජයේ පාසල්වලට ඇතුලත් කිරීමට දිරිගන්වනු ලැබිණි. එහි ප්‍රකාශිත අරමුණ වූයේ තමාට හුරු පුරුදු භූගෝල පරිසරය තුළ තම ඥාතීන්ගේ රැකවරණය යටතේ කිසිඳු වෙනස් කිරීමකින් තොරව අධ්‍යාපනය ලැබීමට අවස්ථාව ආබාධිත දරුවන්ට ද සැලසීම යි. එය ඉතා වටිනා සංකල්පයකි. ඕනෑම යහපත් සංකල්පයක් යථාර්ථයක් වීමට නම් වඩා විද්‍යානුකූල ප්‍රායෝගික වැඩපිළිවෙලක් අවශ්‍ය වේ. එහෙත් ආබාධිත දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් ප්‍රායෝගිකව දැකිය හැක්කේ කුමක් ද? ආබාධ සහිත දරුවෙකුගේ සංවර්ධනය ඉලක්ක කොට ගෙන විශේෂ පාසල්ල් තුළ ගොඩනගා තිබූ භූගෝලීය පරිසරය එනම්, හිතකර පන්ති කාමර, පුස්තකාල, විද්‍යාගාර, පරිගණක විද්‍යාගාර, ක්‍රීඩා පිටි, සංගීත කාමර එහි නැත. විශේෂ අධ්‍යාපනික උපකරණ සපයා ඇත්තේ ඊතාම අවම හා ප්‍රාථමික ඒවා පමණි. දරුවන්ට එකිනෙකාගෙන් ඉගෙන ගැනීමට ඉඩකඩ ලැබෙන පරිසරයක් නැත. තරඟ කිරීමට, ක්‍රීඩා කිරීමට, වැටීමට හැඬීමට රණ්ඩුසරුවල් කිරීමට, සාහිත්‍ය හා කථික දක්ෂථා කෙටියෙන් කිවහොත්, අත්දැකීම් ලබා ගැනීමට හා චරිත සංවර්ධනයට ඉඩකඩ සලසා නැත. විෂේෂ අධ්‍යාපන ගුරුවරුන් නමින් වෘත්තිකයන් පිරිසක් මෙම ඒකකවලට අනියුක්ත කොට ඇතත්, ඔවුන්ගෙන් අතිමහත් බහුතරය ආබාධිතතාව හෝ විශේෂ අධ්‍යාපනික ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය පිළිබඳ අල්පශෘතයෝ ය. බ්‍රේල් ක්‍රමය හා ඇතැම් විට කථන ග්‍රන්ථ ගැන මොන මොනවා හරි අතනින් මෙතැනින් අවුලා ගත් දැනුමක් විනා, ආබාධ සහිත දරුවෙකුගේ අධ්‍යාපනික අවශ්‍යතා ගැන ඔවුන් දන්නා දෙයක් නැත. විශේෂ අධ්‍යාපන ඒකකයකට හෝ බොහෝ විට කිහිපයකට මෙවැනි අල්පශෘත “විශේෂ අධ්‍යාපනික ගුරුවරුන්” ලෙස තමන් විසින් ම හඳුන්වා ගන්නා වෘත්තිකයෙකු රජය විසින් පත් කරනු ලැබේ. එසේ පත් කිරීමේ දී ද, ආබාධිතතාව හා විශේෂ අධ්‍යාපනය පිළිබඳව තම ජීවිතය තුළින් ම ප්‍රත්‍යක්ෂ කොට ගත්, ආබාධ සහිත උපාධිධාරීන් මගහැර, මාස කිහිපයක හෝ ඇතැම් විට වසරක දෙකක ගුණාත්මක බවෙන් අඩු පාඨමාලාවකට පසු, “විශේෂ අධ්‍යාපන ගුරුවරුන්” ලෙස ලේබල් කොට, (වෙනත් තරඟකාරී ක්‍ෂේත්‍රයකට යොමු වීමට සුදුසුකම් නොලැබූ) අල්පශෘත අනාබාධිත පිරිසක් තෝරා ගැනීමට ඔවුහු ප්‍රවේශම් වෙති. කල්ගත වන විට, අලුතින් එලෙස පත්වීම් ලබා ක්‍ෂේත්‍රයට පැමිනෙන නවක වෘත්තිකයන් මෙහෙයවීමේ නිලධාරීන් ලෙස පත්වීම් ලබා ගැනීමට අර කලින් එසේ පත් කරන ලද නිලධාරීන් සුදුස්සෝ වෙති. එම නිසා අද වන විට ක්‍ෂේත්‍රයේ ඉහළ සිට පහළට ම සිටින විශේෂ අධ්‍යාපන ක්‍ෂේත්‍ර නිලධාරීන්ට ආබාධ සහිත සිසුන්ගේ අධ්‍යාපනය සඳහා කළ යුත්තේ කුමක්දැයි නිසි අදහසක් නැත. කණගාටුවට කරුණ වන්නේ ඒ සඳහා මගපෙන්වීමට ආබාධිතතාව හා අධ්‍යාපනය පිළිබඳ විශේෂඥ දැනුමක් සහිත පුද්ගලයින් ද හිඟ වීම යි. අද මෙරට තුළ අදාළ ක්‍ෂේත්‍රයේ පර්යේෂන සිදු වන්නේ නැත. ඉහළ යන විශේෂ අධ්‍යාපනික අවශ්‍යතාවන්ට සාපේක්ෂව වැඩසටහන් හඳුන්වා දීමට අවශ්‍ය පරිදි රජයේ අරමුදල් වෙන් කර ගන්නේ ද නැත. මේ සියල්ලෙහි ම අවසාන ඵලය වන්නේ ආබාධිත සිසුන් සාමාන්‍ය පාසල්වල විශේෂ අධ්‍යාපන ඒකකවල මුලුගැන්වී, දිනෙන් දින තහවුරු කෙරෙන අනාථභාවයේ ගොදුරු බවට පත්ව අසරණව සිටීම යි. ඉහත මා විසින් අනාවරණය කළ තත්ත්වය පිළිබඳ මට පෞද්ගලිකව ම අත්දැකීම් ඇත. කෙසේ වෙතත්, ආබාධිතතාව හා ඔවුන් පුණරුත්තාපණය කිරීම පිළිබඳව විදේශ රටවල් රැසක න්‍යායික හා ප්‍රායෝගිකව පුහුණුව ලබා ගැනීමට මම සමත් වීමි. එබැවින් අප විසින් යට දක්වන ලද අදහස් හුදු රචනා සැරසිලි ලෙස ඉවත නොදැමිය යුතු ය. අනෙක් අතට, තත් විෂය සම්බන්ධයෙන් සිදු කරන ඉතාම මූලික අපක්ෂපාතී සොයා බැලීමක දී අප ගත් අදහසෙහි නිරවද්‍යතාව යමෙකු පසක් කරනු ඇත.

මීළඟට අපි වෘත්තීය පුහුණුව දෙස මදක් අවධානය යොමු කර බලමු. ඉහත ද පැහැදිලි කළ අන්දමට, රජය විසින් ආබාධිත පුද්ගලයින් සඳහා වෘත්තීය පුහුණුව ආරම්භ කළේ එතෙක් රත්මලානේ අඳ විදුහලේ හා බිහිරි දරුවන් සඳහා වන විදුහලේ ක්‍රියාත්මක කරන ලද භූමිය, ගොඩනැගිලි, විෂය ධාරාවන් හා ඉගෙනුම් ඉගැන්වීම් ශිල්පෝපක්‍රම පවරා ගනිමිනි. එ කල විශේෂයෙන් පේශ කර්මාන්තය, වඩු වැඩ, වේවැල් ආශ්‍රිත කර්මාන්තවල යෙදෙමින් වඩාත් සමෘද්ධිමත්, මධ්‍යම පාන්තික ජීවිතයක් ගත කිරීමට අධ්‍යාපනයෙන් එතරම් ඉහළට නොගිය ද ආබාධ සහිත කර්මාන්තකරුවන්ට හැකි විය. එහෙත්, රජය ආබාධිතයින්ගේ වෘත්තීය පුහුණු කටයුතු පවරා ගෙන විසි වසරක් ඉක්ම ගිය තැන සිදු වූයේ කුමක් ද? ඉතාම නිර්දය ලෙස විශේෂයෙන් පේශ කර්මාන්තය ඇසුරු කොට දිවි ගෙවූ ආබාධිතයින් ස්වකීය රාජ්‍ය ප්‍රතිපත්තිවලට මුවා වී පාරට ඇද දැමීම ය. ඒ සාහසික අහිමි කිරීමට මුහුණ දුන් වැඩිහිටි ආබාධිතයෝ අද ද ඒ ගැන කියමින් සුසුම්ලති. එපමණක් නොව, රජය මගින් ක්‍රියාත්මක කරනු ලබන වෘත්තීය පුහුණු මධ්‍යස්ථානවල විෂයමාලාවේ වෙනස්කම් සිදු වන්නේ ඉතාම සෙමින් ය. බොහෝ විට ඒවා වත්මන් සමාජයේ ආර්ථික/ආයෝජන අවශ්‍යතාවන්ට ගැලපෙන්නේ ද නැත. අවම ගුණාත්මකතාවයෙන් යුත් මෙම වෘත්තීය පුහුණුආයතන මුලුමනින් ම පාහේ පවත්වා ගෙන යනු ලබන්නේ සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන අමාත්‍යාංශය යටතේ ය. එකී කාර්යය සඳහා ම ඇති කරන ලද නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය මගින් ආබාධ සහිත පුද්ගලයින් සඳහා වෘත්තීය පුහුණුව සිදු නො කරන්නේ මන්දැයි අපි නොදනිමු. තවද, විවිධ රාජ්‍ය නොවන ආයතන කිහිපයක් තුළ වෘත්තීය පුහුණු කටයුතු සිදු වුවත්, ඒවා මගින් ද ආබාධ සහිත පුද්ගලයින්ගේ ජීවිතවලට සැලකිය යුතු දණාත්මක වෙනසක් සිදු වී නැත.

මෙම ලිපිය මගින් මෙතෙක් වෑයම් කළේ 1996 අංක 28 දරන “ආබාධ සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පණත” මගින් තහවුරු කර ඇති අධ්‍යාපනයට ඇති අයිතිය හා වෘත්තීය පුහුණුව ලබා ගැනීමට ඇති අයිතිය එය ක්‍රියාත්මක වී වසර 20ක කාලයක් අවසානයේ දී ඇගැයීමක් සිදු කළ විට නිරූපිත සමාජ සත්තාව පාඨක සිතෙහි සිතුවම් කිරීමට යි. එසේම පවතින අයිතිවාසිකම් පණත වෙනුවට ආබාධිතයින් සඳහා නව පණතක් ද කෙටුම්පත් කොට නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇත. එහි අයිතිවාසිකම් පිළිබඳව ධනාත්මක අන්දමින් බලා තහවුරු කර ඇත. කෙසේ වෙතත්, එහි තුන්වන හා හතරවන කොටස්වලින් දක්වා ඇති ක්‍රියාත්මක කිරීමේ හා අධීක්ෂන යාන්ත්‍රණය යෝජනා කර ඇත්තේ රජය මෙතෙක් සිදු කර ගෙන එන ලද පසුගාමී ක්‍රමය තවදුරටත් තහවුරු කෙරෙන අයුරිනි. එහි දී ආබාධිතයින්ට අදාළ සකලවිධ තීරන ගැනීම හා ක්‍රියාවට නැංවීමේ ක්‍රියාවලිය යෝජනා වී ඇත්තේ සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන අමාත්‍යාංශයේ විෂයපථය යටතේ තවදුරටත් පවත්වාගෙන යාමට ය. එය ධූරදර්ශී ආබාධිත පුද්ගලයින්ගේ දෘෂ්ටියෙන් ගත් විට ඉතාම අහිතකර තත්ත්වයකි. ඊට හේතුව සෙසු අමාත්‍යාංශ මගින් ක්‍රියාත්මක කරවා ගත යුතු වන ආබාධ සහිත පුද්ගලයින්ගේ කාර්යයන් ක්‍රියාත්මක කරවා ගැනීමට එක් අමාත්‍යාංශයකට හැකියාවක් හෝ ශක්තියක් නොතිබීම යි. එසේ නම්, ආබාධිත ප්‍රජාවගේ අපේක්ෂාව කුමක් ද? සියලුම අමාත්‍යාංශවල ආබාධිතභාවයට අදාළ කාර්යයන් කරවා ගැනීමට හැකියාවක් ඇති ශක්තිමත් ක්‍රියාත්මක කිරීමේ හා සම්බන්ධීකරණ යාන්ත්‍රණයක් ලබා ගැනීම යි. අපගේ අවබෝධයේ තරමට, එය යථාර්ථයක් වීමට නම්, කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියාගේ විෂයපථයට අයත් වන පරිදි එය ස්ථාපනය කළ යුතු ය. එවිට අමාත්‍යාංශ, සංස්ථා මණ්ඩල මගින් ස්වකීය ෂේත්‍රයන්ට අදාළව ආබාධිත ප්‍රජාවට බලපාන කටයුතු වඩා කාර්යක්ෂමව ක්‍රියාත්මක කරවා ගත හැකි වනු ඇත. එම අරමුණ වෙනුවෙන් අපි ජන සමාජය අවධි කරවමු.

අශෝක වීරවර්ධන,
සම කැඳවුම්කරු, පෙබරවාරි 08 දා ව්‍යාපාරය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *