Skip to content

තාක්ෂණය හා ආබාධිතභාවය

Posted in Disability

“තාක්ෂණයට ආබාධිතභාවය පරදියි.”
බොහෝ දෙනෙකුට මේ ප්‍රකාශය අවිශ්වාසයට හෝ සිනහවට කරුණක් විය හැකි ය. එහෙත් සත්‍යය නම්, නිසි පුහුණුවකින් පසු, බරපතල තත්ත්වයේ ආබාධිතභාවයෙන් පෙළෙන අයෙකුට වුවද, තාක්ෂණය මගින් කළ හැකි සෑම ක්‍රියාකාරකමක් ම පාහේ ඉතාම සාර්ථකව සිදු කළ හැකි වීම යි.

ආබාධිත පුද්ගලයෙකුගේ ජීවිතය ඵලදායී කිරීමට තාක්ෂණයට විශාල හැකියාවක් ඇත. දියුණු ආර්ථික හා සමාජ තත්ත්වයන් සහිත රටවල ආබාධිතයින් භුක්ති විඳින සාපේක්ෂ සමෘද්ධිමත් ජීවිත පිටුපස ඇත්තේ තාක්ෂණයේ මහිමය යි. මෙම තාක්ෂණය “උපකාරක”/ “අනුවර්තිත තාක්ෂණය” (Assistive/Adaptive technology) ලෙස හැඳින්වේ.
ඉහත ද අප විසින් පෙන්වා දුන් පරිදි, ආබාධිත පුද්ගලයින්ගේ ජීවිතයේ දී තාක්ෂණයට තීරනාත්මක භූමිකාවක් ඇත. තොරතුරු නිර්මාණය කිරීම, සන්නිවේදනය සහ ගබඩා කිරීම සඳහා ඩිජිටල් පද්ධති නිර්මානය වී තිබීම සහ ප්රචාරණය කිරීම වර්තමානය වන විට සකස් වී තිබේ. පරිගණක, දුරකථන, රූපවාහිනිය සහ නිවස ආශ්‍රය කොට ගත් ජීවිතය මෙන්ම පාසල්, කාර්යාල වැනි සෑම ස්ථානයක් ම පාහේ වර්තමානයේ ඩිජිටල් පද්ධති මත පදනම් වී ඇති නිසා එකී පරිසරයන් ආශ්‍රිත තාක්ෂණික සහයෝගය නිසි පරිදි ලබා දිය හැකි නම්, ආබාධිත තත්වයට පත්වූ පුද්ගලයින්ගේ ජීවිත එමගින් ආලෝකමත් කිරීමට හැකි වනු ඇත. එවිට වෙනත් ඕනෑම අයෙකුට කළහැකි පරිදි තොරතුරුවලට ප්රවේශ වීමට ඔවුන්ට ද හැකියාව ලැබෙනු ඇත. නිවැරදි තාක්ෂණය හා පුහුණුව ලැබෙන්නේ නම්,

  • ආබාධිත පුද්ගලයින් විසින් ලොව අනෙකුත් ඕනෑම අයෙකු මෙන්ම කියවීම සහ ලිවීම සිදු කරනු ඇත.
  • ඊමේල්, කෙටි පණිවුඩ, වෙබ් චැට්, ෆැක්ස් සහ තවත් සන්නිවේදන මෙවලම් සුදුසු පරිදි භාවිතා කරනු ඇත.
  • තොරතුරු ගවේෂණය, මාර්ගගත බැංකුකරණය, (ATM) ප්රවේශපත්, පොත් කියවීම, සමාජ ජාලකරණය ආදිය සඳහා අන්තර්ජාලය පූර්ණ ලෙස උපයෝගී කර ගනු ඇත.

පුද්ගලයෙකු දීර්ඝකාලීන ආබාධයකට ලක්වීම නිසා මුහුණපෑමට සිදු වන ගැටළු අතිමහත් ය. එහෙත් මෙහි දී විමසා බැලිය යුත්තේ එකී ආබාධිතභාවය කරණ කොට ගෙන මුහුණපෑමට සිදු වන ගැටළු සකස් වන්නේ කෙසේ ද යන්න යි. මොහොතකට අපි මේ ලෝකයේ සිටින සියල්ලන් ම ආබාධ සහිත පුද්ගලයින් වූවා යැයි සිතමු. එවිට එම තත්ත්වයන්ට අනුකූලව කුදුමහත් මානව ශිෂ්ඨාචාරය හා සංස්කෘතිය සකස් වනු ඇත. එවන් ලෝකයක ගැටළුවලට මුහුණ දෙන්නේ ශාරීරික හෝ මානසික ආබාධයක් නොමැති පුද්ගලයන් ය. ලෝකය ඔවුන් උදෙසා සකස් වී නොමැති හෙයිනි. එලෙස කරුණු සලකා බලන කල, කිසියම් තැනැත්තෙකු ආබාධිතභාවයට පත් වීමත් සමග මුහුණ දීමට සිදු වන ගැටළුවලින් අතිවිශාල ප්‍රමාණයක් සකස් වන්නේ පවත්නා මානව ශිෂ්ඨාචාරය, සංස්කෘතිය, සමාජය එම පුද්ගල ගැටළු ආවරණය කිරීමට සූදානම් නොමැති හෙයින් බව වටහා ගත හැකි වනු ඇත.
විවිධ සමාජ, ආර්ථික, සෞඛ්‍යමය හා සංස්කෘතික විෂමතා කරණ කොට ගෙන ආබාධිතයින් ලෝකයට එකතු වේ. එය මානව ඉතිහාසයේ ආරම්භයේ සිට අනාගතයේ අවසානය තෙක් ප්‍රවාහයක් ලෙස අඛණ්ඩව සිදු වනු ඇත. කරුණු එසේ නම්, උසස් මනසක් සහිත මිනිසුන් ලෙස ආබාධිතභාවයට ගොදුරු වූ තැනැත්තන්ගේ ජීවන තත්ත්වයන් ඉහළ නැංවීමට කුමක් කළ යුතු ද?
නියත වශයෙන් ම සියලු භෞතික හා අභෞතික සංස්කෘතීන් හා සමාජ තත්ත්වයන් සැලසුම් කිරීමේ දී, ගොඩනැගීමේ දී ඔවුන්ගේ සුවිශේෂී ජීවන ගැටළු ද සැලකිල්ලට ගෙන එය සිදු කළ යුතු ය. මේ ලිපියේ අන් තැනක ද සඳහන් කළ, අනුවර්තිත තාක්ෂණය යනු එවන් ප්‍රයත්නයක ඉෂ්ඨ ප්‍රතිඵලය යි. එමගින් අදාළ වින්දිත ජන කොටස්වලට තම ජීවිත පහසුවෙන් ගත කිරීමට විකල්ප ක්‍රමවේද සපය යි.
දෘශ්‍යාබාධිතයින්, ශ්‍රව්‍යාබාධිතයින්, කථනාබාධිතයින්, අත්පා ආදී ශරීරාංගයක දීර්ඝකාලීන අක්‍රීයතාවන් නිසා ආබාධයන්ට ලක්වී සිටින්නන්, මානසික ආබාධිතතාවන්ගෙන් පෙළෙන්නන් සහ එකම පුද්ගලයා මත මෙකී ආබාධිතතා දෙකක් හෝ වැඩි ගණනක් දැකිය හැකි පුද්ගලයන් සඳහා වුව ද, දැනට ලෝකයේ අනුවර්තිත තාක්ෂණික මෙවලම් හා ක්‍රමවේද ගොඩනැගී ඇත. ඒවායේ නිසි හා ඵලදායී ක්‍රියාකාරීත්වය මත බොහෝ දෙනෙක් ස්වාධීන ජීවිත ගත කරති. එහෙත්, අප රටේ වෙසෙන ආබාධිතයින්ගෙන් අතිමහත් බහුතරයකට මෙම වරම ලැබෙන්නේ නැත. ඊට බලපාන එක් හේතුවක් වන්නේ අනුවර්තිත තාක්ෂණික මෙවලම් මිලෙන් අධික වීම හා දේශීය වශයෙන් ලබා ගත නොහැකි වීම යි.
ඇත්ත වශයෙන් ම, ලෝකයේ වඩා සමෘද්ධිමත් රටවල පවා ආබාධිතයින්ට මෙකී උපකරණ ලැබෙන්නේ රාජ්‍යයේ මැදිහත්වීමෙන් විවිධ යෝජනා ක්‍රම මගිනි. එබැවින්, අප රටේ ආබාධිත ජන කොටස්වලට අවශ්‍ය උපකාරක මෙවලම් ලබා දීමේ දී ද රාජ්‍ය අංශයට විශාල කාර්යයක් පැවරී තිබේ.
එහෙත්, අප රටේ ආබාධිතතාව විග්‍රහ කෙරෙන්නේ, සැලසුම් සකස් කෙරෙන්නේ එතරම් පුළුල් අවකාශයක සිට නොවේ. ආබාධිතථාව යනු අධ්‍යාපන, සෞඛ්‍ය, ප්‍රවාහන, නිවාස, ළමා කටයුතු, කාන්තා කටයුතු, යෞවන කටයුතු, රැකීරක්ෂා, විද්‍යා හා තාක්ෂණ, මහජන උපයෝගීතා ආදී අමාත්‍යාංශ රාශියක් ඒකාබද්ධව ආවරණය කළ යුතු ක්‍රියාවලියකි. ආබාධිත පුද්ගලයින්ගේ සංවිධාන ස්වකීය ශක්ති ප්‍රමානයෙන් විවිධ ව්‍යාපෘති හරහා මෙම භාරධූර කාර්යයට උර දෙමින් සිටිති. එහෙත්, රාජ්‍ය පාර්ශවයෙහි මෙම ක්ෂේත්‍රයට අදාළව ප්‍රතිපාදන වෙන් කිරීම, ව්‍යාපෘති හා යෝජනා ක්‍රම සකස් කොට ක්‍රියාත්මක කිරීම දක්නට ලැබෙන්නේ ඉතා අවම මට්ටමෙනි. මෙම තත්ත්වයට හේතු වී ඇති කරුණු ලෙස බොහෝ විට විග්‍රහ කරන සමාජයක් වශයෙන් අප වෙළා ගෙන ඇති දරිද්‍රතාවය, පසු ගිය තිස් වසරක යුද්ධය, නූගත්කම වැනි කරුණු කෙසේ වෙතත්, වඩා ප්‍රායෝගිකව ඒ සඳහා බලපාන කරුණු වන්නේ නොසලකා හැරීම, ආබාධිතයින් දෙවන ගණයේ පුරවැසි කණ්ඩායමක් ලෙස සලකා සැලසුම් හා ප්‍රමිතීන් සකස් කිරීම, සමාජ දේහය වසා ගෙන පිළිලයක් සේ ඔඩුදුවා ඇති දේශපාලනීකරණය, ඥාති සංග්‍රහය වැනි කරුණුය යන්න මැදිහත් විවේකී මනසින් යුතුව කරන විශ්ලේෂණයක දී වැටහෙනු ඇත.
කෙසේ වෙතත්, ක්‍රියාත්මක වීමට ඇති පටු සීමාව තුළ සිට වුවද, ආබාධ සහිත තැනැත්තන්ගේ සුභසිද්ධිය වෙනුවෙන් ගත හැකි ක්‍රියාමාර්ග රාශියක් ඇත. ඒ අතරින්

  • ආබාධිත පුද්ගලයින්ගේ අවශ්‍යතා පිළිබඳ විධිමත් අධ්‍යයනයක් සිදු කොට අවශ්‍යතා ප්‍රමුඛතාගත කිරීම
  • අනුවර්තිත තාක්ෂණය හඳුන්වා දීම සඳහා යෝජනා ක්‍රමයක් සකස් කිරීම
  • ආබාධ සහිත දරුවන්ගේ අධ්‍යාපනයේ ගුණාත්මක තත්ත්වය ඉහළ නැංවීමට අවශ්‍ය විශේෂ තාක්ෂණය හඳුන්වා දීම
  • සෞඛ්‍ය, ප්‍රවාහන, රැකීරක්ෂා සහ සමාජ ස්වාධීනත්වය ආදී ක්‍ෂේත්‍රයන්ට අදාළව තාක්ෂණය සැලසුම් කිරීම හෝ එබඳු තාක්ෂණ සැලසුම් කිරීමෙහි යෙදී සිටින රාජ්‍ය හා පෞද්ගලික ව්‍යවසායකයින් ශක්තිමත් කිරීම

ඉහත ක්‍රියාමාර්ග එකක් හෝ සියල්ල ම හෝ ක්‍රියාවට නැංවීමට හැකි වුවහොත්, එමගින් ආබාධ සහිත පුද්ගලයින්ගේ ජීවිත ආලෝකමත් කිරීමට අවශ්‍ය මග හෙළිපෙහෙලි වෙනවා නියත ය. එවන් කටයුත්තක දී පෙරමුණ ගැනීමට අපිදු අපේක්ෂා සහගතව සිටිමු.

අශෝක බන්දුල වීරවර්ධන.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *