Skip to content

අභිවෘද්ධි පුස්තකාලය

ශ්‍රී ලංකාවේ මුද්‍රිත ප්‍රකාශන පරිශීලනය කළ නොහැකි වූවන් හෙවත් මුද්‍රිත ආබාධිත වූවන්ට ප්‍රවේශ විය හැකි ආකෘතීන්ගෙන් පොත් / කියවීමේ ද්‍රව්‍ය ඇත්තේ ඉතා ස්වල්පයක් පමණි. බොහෝ විට ප්‍රකාශන, පාඨකයින් වෙත ඉදිරිපත් කරන්නේ මුද්‍රිත ආකෘතියෙන් පමණක් වන හෙයින් මුද්‍රිත ආබාධිතයින්ට ඒවායේ අන්තර්ගතයට ප්‍රවේශ වීම අතිශයින් දුෂ්කර ය. අනෙක් අතට, මෙම ගැටළුව මෙතෙක් පැවති නීතිමය විධිවිධානයන්ගෙන් ප්‍රමාණවත් ලෙස ආවරණය වූයේ ද නැත.
කෙසේ වෙතත්, අපි තරයේ විශ්වාස කරන්නේ එකම සමාජයේ ජීවත්වන ප්‍රජාවක් තොරතුරු දැන ගැනීමේ අයිතිය, අධ්‍යාපනය සහ සමාන සහභාගීත්වය වැනි අයිතිවාසිකම් භුක්ති විඳීමෙන් බැහැර කිරීමට කිසිදු ප්‍රජාතන්ත්‍රවාදී නීතියකට හෝ ව්‍යවස්ථාවක කොටසකට නොහැකි බව යි.
අන්ධ, දෘශ්‍යාබාධිත හෝ වෙනත් ආකාරයකින් මුද්‍රිත ප්‍රලේඛන කියවා ගත නොහැකි, ආබාධිත පුද්ගලයින් සඳහා ප්‍රකාශන හිමිකම් සහිත කෘතීන් වෙත ප්‍රවේශය ලබා දීම සඳහා, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව 2016 දී ජාත්‍යන්තර මරකේෂ් ගිවිසුම අපරානුමත කරන ලදී. ඊට අදාළව, ශ්‍රී ලංකාවේ පවත්නා බුද්ධිමය දේපල හිමිකම් සුරැකීමේ නීතියට අවශ්‍ය සංශෝධන කැබිනට් මණ්ඩලය විසින් දැනටමත් අනුමත කර තිබේ.
අපි, ඩේසි ලංකා පදනමේ සාමාජිකයෙකු ලෙස, ශ්‍රී ලංකාවේ මුද්‍රිතාක්ෂර ආබාධිත වූවන් මුහුණ දී ඇති මෙම ‘දැනුම් සාගතය’ අවසන් කිරීම අරමුණු කර ගනිමින් ප්‍රකාශන ප්‍රතිනිෂ්පාදනය කරන්නෙමු. මුද්‍රිත ආබාධිත වූවන් සඳහා වන “අභිව්රුධි පුස්තකාලය” යනු, ලෝකයේ දැනුම ඔබගේ ඇඟිලි තුඩුවලට ගෙන ඒමේ අපගේ එම උත්සාහයයි. අපගේ පුස්තකාලයට පිවිසෙන ඔබට අනන්‍යතාව තහවුරු කර, අපගේ සම්පූර්ණ ග්‍රන්ථ නාමාවලියම හෝ විෂයයන් අනුව පිරික්සීමටත් ඉන්පසු අදාළ ග්‍රන්ථය පරිශීලනය කිරීමටත් හැකි වනු ඇත. අභිව්රුද්ධි සමඟ ප්‍රීතිමත් පාඨක අත්දැකීමක් ඔබට ප්‍රාර්ථනා කරමු!